Wednesday, November 16, 2016

***** නෙතට පොතක් *****

අලුත්ම අලුත් පොතක්, පිටුවෙන් පිටුව පෙරළද්දි එන නැවුම් සුවඳ කොයි තරම් නම් අපූරුද... ඒ අපූර්වත්වය ඔබ මා මෙන්ම අප දරුවන් කෙතෙක් අත්විඳ ඇත්ද...?
නමුත්... ඒ නැවුම්, සොඳුරු අත්දැකීම මෙතෙක් ජීවිතයේ කිසිම දවසක නොදැකපු, අත් නොවිඳපු දුවා දරුවන් කෙතෙක් නම් ඇත්ද...? 
ඔබේ ඒ අත්දැකීම, අපූර්වත්වය එවැනි වූ සොදුරු දුවා දරුවන් වෙනුවෙන් අත්විඳීමට සලස්වන්න ඔබත් සූදානම්ද...?
එසේ නම් මේ ඔබේ අවස්ථාවයි...

Thursday, September 22, 2016

ජයවද්දනපුර ලිවිසැරි කරළිය - 2016


සාහිත්‍ය මාසයට සමගාමීව වාර්ෂිකව පැවැත්වෙන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සාහිත්‍ය උළෙල මෙවරත් අද (22) දින ඉතා උත්කර්ශවත් අයුරින් රාජගිරිය හේවාවිතාරණ විදුහල් ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පූර්ණ අධීක්ෂයෙන් හා මෙහෙයවීමෙන්, සංස්කෘතික අමාත්‍යංශයේ සහයෝගයෙන් වාර්ෂිකව මෙම සාහිත්‍ය උළෙල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය මූලික කර ගනිමින් පැවැත්වනු ලබන්නේ “ජයවද්දනපුර ලිවිසැරි කරළිය“ යනුවෙන් නම් කරමිනි.

ඵලදායිතා තරගයේ රාජ්‍ය අංශයේ දෙවන ස්ථානය කෝට්ටේ ප්‍රා.ලේ. දිනා ගනී


ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජාතික ඵලදායිතා සම්මාන තරගයෙන් 2015 වර්ෂයේ රාජ්‍ය අංශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතරින් සමස්ත දිවයිනෙන්ම දෙවන ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට  හැකිවිය.


2014 වර්ෂයේ ජාතික ඵලදායිතා තරගයෙන් දිවයිනෙන්ම තුන්වන ස්ථානය ලබා ගත් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙවර දෙවන ස්ථානය ලබා ගැනීමට හැකිවීම අතිමහත් ජයග්‍රහණයකි.

Wednesday, August 24, 2016

කේ. ජයතිලකයන්ගේ සාහිත්‍ය ප්‍රදර්ශනයක් අගෝ. 24 - 25 දෙදින

ලාංකේය සාහිත්‍ය කලාවේ සදා නොමියෙන නිර්මාණකරුවෙකු ලෙස සාහිතකාමී ජන හදවත් තුළ ලැගුම් ගත් අප අතරින් වියෝ වූ කේ. ජයතිලක ශූරීන්ගේ සාහිත්‍ය කෘති හා තවත් විද්වත් ලේඛකයන්ගේ දුර්ලභ කෘති ඇතුළත් ප්‍රදර්ශනයක් හා අළෙවි සල්පිලක් 2016 අගෝස්තු 24 හා 25 යන දෙදින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී  පැවැත්වේ.

Tuesday, August 16, 2016

ඵෙතිහාසික පසුබිම



දේශපාලනික වශයෙන් කෝට්ටේ නගරය ශ්‍රී ලංකා ඉතිහාසයට එක්වුයේ 14 වන සියවසේදීය.එහි ආරම්භකයා වන නිශ්ශංක අලගක්කෝනාර හෙවත් අලකේශ්වර,කෝට්ටේ ආරක්ෂිත අගනුවර ලෙස තෝරා ගත්තේය.(1340 – 1380) එය තුන් පැත්තකින් ගංඟා දෙකකින් මායිම් වු වගුරු බිම් වලින් වටවු ග්‍රාමයක් විය.ජයවර්ධනපුර නමින් ඉදිකරන ලද ප්‍රදේශය කලින් හඳුන්වනු ලැබුවේ 'දරුගම' ලෙසය. දියවන්නා ඔය සහ කොලොන්නාව ඔය එක් ගංගාවක් ලෙස යාවී එක්වුයේ දරුගම දීය.දරුගම ස්වභාවික ලෙස ආරක්ෂා වු බැවින් සතුරන්ට ප්‍රවිෂ්ඨ වීමට බාධාවක් විය.

කෝට්ටේ බලකොටුව ආසන්න වශයෙන් වර්ග සැතපුමක භුමි භාගයකි. ආරක්ෂිත කොටු තාප්පය (කොටු පවුර) අඩි 8 ක් උස අඩි 35 පළලය.කොටු පවුර කබොක් ගල් වලින් ගොඩ නැගු ත්‍රිකෝණාකාර හැඩයෙන් වටවු නගරයකි. ගැඹුරු දිය මාර්ගයකින් කොටු පවුර දෙපැත්තකින් වටවී ඇති සේම, කෙළවරින් උස් බිම් යා කෙරෙන බල කොටුව දූපතක් ලෙස ගැඹුරු දිය අගල් දෙකකින් වෙන් විය. බල කොටුව වටා ඇති පිටස්තර භුමිය උල්, ගෝන අං ආදී මර උගුල් ආදියෙන් නගරය තව දුරටත් ආරක්ෂා කර තිබේ. කොටු පවුර හතරකොනේ උපුල්වන් ,සමන්, විභීෂණ සහ ස්කන්ධ දේවතාවුන් සඳහා දේවාල හතරක් විය.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටීම.




බස්නාහිර පළාතට අයත් කොළඹ දිස්ත්‍රික්කය තුල පිහිටි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතුරින් දෙහිවල,රත්මලාන,මොරටුව යන කොට්ඨාස වලට පමණක් භූමි ප්‍රමාණයෙන් විශාල වේ.ග්‍රාම නිලධාරි වසම් 20 කින් සමන්විත මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය උතුරින් හා නැගෙනහිරින් කොලොන්නාව  හා කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලින්ද දකුණින් හා බටහිරින් මහරගම හා තිඹිරිගස්යාය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලින්ද මායිම් වන අතර භූමි ප්‍රමාණය හෙක්ටයාර් 1,674 ක් පමණ විශාල වේ. මෙම කොට්ඨාසය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා බල ප්‍රදේශය ලෙස ප්‍රාදේශීය පරිපාලනයේදී සැලකේ.

කොට්ඨාශයේ මූලික තොරතුරු

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
2015

        ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය          - ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
          භූමි ප්‍රමාණය                                     - වර්ග කිලෝමීටර් 17.04
          ග්‍රාම නිළධාරි වසම් ගණන                - 20

Translate